පඩුඅබා,දෙවන පෑතිස්,ගැමුණු,වළගම්බා,මහසෙන්,දසෙන්,සීගිරි කසුප් වැනි වීර නර විරුවන් කැලැ සියල් සිරින් පිරි අනුරපුර රජ දහන වරින්වර නැගී දමිළ සතුරු උවදුරින් ව්‍යසනයට පත්ව වන සතුනට කෙළිබිමක් විය.
එනමුදු දැ අබිමනින් යුත් හෙළයන් වනගත පෙදෙස් හී ගම් දනව්වල මහත් වූ දුකින් වෙසෙන කල් තුන් හෙලයම සුදු ජාතීන්ට යටත් වූ රාජ්‍යයක් ව තවත් අදුරු සමයක් උදාවිය. එකළ නගරබද කිතු සමය වාදීනට සිප්සතර හැදැරීමේ අවකාශ සැලසී තිබුනද රජරට හෙල බොදු දරුවනට ඒ වාරය නොලැබුනි .
මේ අදුරු යුගයේ කිතුණු බැතිමතුන් මුල්කරගත් බැප්ටිස්ට් මිෂනාරි පාසලක් කැකිරා පුරවරයේ ආරම්භ කල අතර, බොදු දරුවනට එහිදී අපමන වෙනස්කම් සිදු වී ඇත.
තුන්කල් දැක්මෙන් චිත්ත සන්තාපයට පත් ගිහි පැවදි පබු දනන් මලව ඔරුගල්සැය රජමහා විහාරයට රැස්වී කතිකා කර තත් විපතින් දරුවන් මුදවා ධම්ම් ශාස්ත්රාලෝකය ලබා දීමට ක්‍රි.ව.1934 ක් වු නිකිණි මස සොලොස්වැනි දින (1934/08/16) ඔරුගල්සැය විහාරස්ථ ඉරිදා දහම් පාසල ආරම්භ විය.
තත් විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය මලව සීලානන්ද හිමි,පලුගොල්ලාගම ගුණරතන හිමි,පූජ්‍ය ඇන්.ඇම්. රතනපාල හිමි යන ස්වාමීන් වහන්සේලා අනුශාසනා පරිදි ශ්‍රිමත් ජි.ජී.බස්තියන් සිල්වා මුදලාලි මහතා ,ට්.බි.ඒකනායක කෝරළේ මහතා,ඩි.බි.රණසිංහ නොතාරිස් රාළහාමි ,ඇස්.බී.ලේනව මහතා යනාදි ගිහිපැව්දි ප්‍රභු පිරිස ඇතුලු අවට ගම් වාසීන්ගේ සහය ඇතිව ඔරුගල්සැය විහරස්ථ ධම්ම් ශාලාවේදි ළමුන් 16 දෙනෙකුගෙන් යුතුව දහම් පාසල බිහිවිය.
එහි අධ්‍යාපන කටයුතු කරගෙන යන ලද්දේ විහාරාදිපති ස්වාමීන් වහන්සේත් මහවැවේ කීරාල මහතාත් බව ඉතිහසය පෙන්වා දේ.
මෙම දහම් පාසල 1934 ඔක්තොම්බර් මස 08 දින කැකිරාව සිල්වා බෞද්ධ මිශ්‍ර පාඨශාලාව යන නමින් පාසලක් ලෙස බිහිවිය. මෙම පාසල ආරම්භ කිරීමට අක්කරයක ඉඩම සහ 120 *120 ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරමින් පුරෝගාමි මෙහෙවරක් ඉටුකලේ ශ්‍රිමත් ජි.ජි.බස්තියන් සිල්වා මුදලාලි මහතාය. අද වන විට වසර 86 ක් වයසැති මෙම පාසල අ/බස්තියන් සිල්වා මහා විද්‍යාලය නමින් කලාපීය අභිමානය ලෙස ඉදිරියට යනු ඇත.